May 25, 2010

මාත් දැන් ෆුල් නිදහස අත්විදිනව



මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න. (ලැජ්ජාවෙ බෑ මන් මෙච්චර කල් ෆොස් ගැන කියෙව්වට ඩුවල් බූට් විදියට තමයි උබුන්ටු දාල පාවිච්චි කලේ). මුලින් උබුන්ටු දැන් කුබුන්ටු. හැබැයි ගොඩක් වැඩ කලේ මේකෙන්. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් අනාතයිනෙ. (මේ පොඩි එකා අනාත උනොත් පව්නෙ) ඒකයි...වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අතඇරලා බයනැතුව ලිනක්ස් වලට ආවෙ උදව් කරන්න අයියල ඉන්න හින්ද. (මෙයාල කාවවත් මන් දැකල නම් නැ.. ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයිනෙ )

කොහොම හරි ඒ වැඩෙත් අවුලක් නැතිව ගොඩ දා ගත්ත. දැන් මන් පාවිච්චි කරන්නෙ කුබුන්ටු 10.04 (ලුසිඩ් ලිනක්ස්) විතරයි. මේ පාර උබුන්ටුත් සිරා වුනාට මට නම් හිත ගියෙ කුබුන්ටු වලට (හිත ගිය තැන මාලිගාව කියනවනෙ).. ඩුවල් බූට් කරන්න කුබුන්ටු දාපු මුල්ම දවස් වල නම් ආසාවට බලන්න දැම්මෙ ඒත් දැන් නම් මන් මේකට ෆුල් ලව්. (ඕ.එස්. එකට හොදේ) Gnome GUI එකත් එක්ක බලද්දි මටනම් KDE කිසි අවලකුත් නෑ. මට දැන් වින්ඩෝස් සෙවන් අල්ටිමේට් ලයිසන් එකක් නිකන් දුන්නත් මන් නෙමෙයි ඇහැක් ඇරලවත් බලන්නෙ (මෙහෙම කිව්වට දුන්නොත් නම් ඉතින් ඇස් දෙකම ඇරල ඉල්ල ගන්නව)

හැබැයි කොලු කමට ක්‍රැක් කරපු හොර බඩු (බඩු කිව්වෙ සොෆ්ට්වෙයා හරිද) නම් පාවිච්චි කරන් නැ.... ඒ හින්ද දැන් අපි ෆුල් නිදහසේ කල් ගෙවනව (ෆුල් නිදහසේ කිව්වෙ කෙල්ලෙක් එහෙම හිටිය නම් නිදහස බල්ලට යන හින්ද). දැන් කාටවත් නයත් නැ කාටවත් බයත් නැ. ෆුල් ජොලියෙ ඉන්නෙ…………මුලින්ම කියන්න ගියෙ කුබුන්ටු ගැන අන්තිමට කිව්වෙ නිදහස බල්ලට යන කෙල්ලො ගැනනේ……ආයිත් යන් මාතෘකාවට

ඔන්න මන් කුබුන්ටු වල පොටෝස් ටිකක් දානව. ඔයාලත් බලන්නකො කුබුන්ටු කොච්චර පට්ටද කියලා……මැක්සා නේද?












තවත් කුබුන්ටු වල ෆොටෝස් බලන්න ඕන නම් මෙතන කොටන්න

May 19, 2010

මම වැස්සේ රස වින්දා

සීතල සිසිලැල් කැන්දා
සිත කුල්මත් කරවන්නා
කුරුලු පැටව් කැදලි කරා
හැකි වේගෙන් පියඹන්නා

මාගේ ගත සිත පිබිදී
වැසි එන බව දැනගත්තා
වැස්සේ රස විදිනු පිණිස
නිවසින් එලියට පැන්නා

හෙමින් වැටුනු වැහි බිදුවල
ඇති වේගය වැඩි වෙන්නා
මොර සූරන තද වැස්සක්
මා වටේට ඇති වෙන්නා

වෙනද තිබුනු මුලු මිදුලම
අද ජලයෙන් තෙත් වීලා
පහත් තැනින් මද වේගෙන්
ජල ධාරා ඇදි යන්නා

මම ලොකු ලමයෙකු යන වග
මගේ සිතට නොදැනෙන්නා
වගේ මාත් මේ වැස්සේ
සෙල්ලම් කෙරුමට ගත්තා

මොර සූරන තද වැස්සක
මායි සිතයි තනි වෙන්නා
කාටත් නොහැගෙන විලසකි
මම වැස්සේ රස වින්දා

මේක මේ පුන්චි කොලු ගැටයෙක් කවියක් ලියන්න දරපු පොඩි උත්සාහයක් garupale ඒක සාරථක බව හරි අසාර්ථක බව තීරනය කරන්න ඕනෙ කියවන ඔයාල තමයි.හැබැයි ඔන්න ඉතින් මගෙ මේ කවි පන්තිය අපේ අයියල අක්කල කවි මඩුවෙ කිව්ව ඒව තරම් ලස්සනනම් නෑ.garupale

May 17, 2010

වින්ඩෝස් සදහා FOSS


මගෙ කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්තන් මෙතනින් අපි නොදන්න FOSS කියවල ඉන්න.මොකද ඒකෙ ඉතිරි කොටස විදිහට තමයි මේ පෝස්ට් එක දාන්නෙ.
අද මම කියන්න යන්නෙ දැනට වැඩිපුරම භාවිත වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග කීපයක් ගැනයි.මෙහිදී ඉදිරිපත් කරල තියෙන්නෙ සාමාන්‍ය භාවිතයට අවශ්‍යකරන අවශ්‍යකරන මෘදුකාංග කීපයක් පමණයි. නමුත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි FOSS මෘදුකාංග ලබාගන්න පුලුවන්

මෙහෙයුම් පද්ධතියකට පස්සෙ අපිට වැඩියෙන්ම ඕන වෙන මෘදුකාංගයක් තමයි ඔෆීස් පැකේජය.ගොඩක් දෙනා භාවිත කරන මයික්‍රෝසොෆ්ට් ඔෆීස් පැකේජය (MS Office 2007 පැකේජය රු.29000 ක් පමණ) වෙනුවට භාවිත කල හැකි ඉතා සාර්ථක මෙන්ම හොදම විකල්පය වන්නේ ඕපන් ඔෆීස් (Open Office.org) පැකේජයයි.මයික්‍රෝසොෆ්ට් ඔෆීස් මගින් කළ හැකි සෑම දෙයක්ම මෙතුලින්ද ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි.එමෙන්ම ලාංකිකයන් සදහාම මෙම මෘදුකාංගයේ සිංහල අතුරු මුහුණත දැනටමත් නිර්මාණය කර අවසන්ව ඇති අතර උපකාරක පිටු සිංහලට පරිවර්ථනය කිරීමේ කටයුතු දැන් සිදුවේ.මේ සදහා ඔබටද දායක විය හැක.

එසේම ඡායාරූප සන්ස්කරණ කටයුතු සදහා සුලබව භාවිතා කරනු ලබන ඇඩොබි පොටෝෂොප්පැකේජය රු.79000 පමණ වේ. ඒ වෙනුවට Gimphoto සහ Gimpshop භාවිතයට ගත හැකිය.

වෙක්ටර් ග්‍රැපික්ස් වර්ගයේ නිර්මාණ සදහා බහුලව යොදා ගන්නා ෆී හෑන්ඩ්,ඉලස්ට්‍රේටර්,කොරල් ඩ්‍රෝ වැනි මිල අදික මෘදුකාංග වෙනුවට Inkscape පහසුවෙන්ම යොදා ගත හැක.

ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින් සහ ක්වාක් එක්ස්ප්‍රස් වැනි මෘදුකාංග වලින් කරන්නාක් මෙන් පිටු සැකසීමේ කටයුතු කිරීමට ස්ක්‍රයිබස් (Scribus) අනගි නිදහස් හා විවෘත මෘදුකාංගයකි.

තිමාණ සජීවීකරණය කල හැකි ත්‍රීඩී මැක්ස් මායා වැනි මෘදුකාංග තරම් නොවුනත් Blender මෘදුකාංගය මගින් සාර්ථකව ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණය කල හැක.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණයකට වැඩිපුරම ඇති වන බලපෑම වන්නේ වයිරස් වලින් සිදුවන හානියයි.මේ සදහාද ඕපන්සෝස් ඇන්ටිවයිරස් මෘදුකාංග ඇත.ක්ලැම්වින් (Clamwin) ඊට හොදම උදාහරණයයි.මෙහි විශේෂම ලක්ශණ ලෙස පරිගණකයෙන් විශාල ඉඩ ප්‍රමාණයක් නොගැනීම හා පෙන් ඩ්‍රයිව් එකක උවත් දමා භාවිත කිරීමේ හැකියාව ගත හැක.

සී.ඩී හෝ ඩී.වී.ඩී බර්න් කිරීමට යොදා ගන්නා වාණිජ මෘදුකාංග වෙනුවට ඒ සමානව මෙහෙයක් ඉටුකරන ආකර්ශනීය ඕපන් සෝස් බර්නින් මෘදුකාංගයක් ලෙස ඉන්ෆ්‍රාරෙකෝඩර් (Infra Recoder) මෘදකාංගය හැදින්විය හැක.නොමිලේ ලබාගත හැකි මෙයින් වාණිජ මෘදුකාංගයකින් ලබා ගත හැකි සියලුම සේවා ලබා ගැනීමේ හැකියාබක් තිබේ.

අනර්ඝ ඕපන්සෝස් මීඩියා ප්ලේයරක් ලෙස වී.ල්.සී. මීඩියා ප්ලේයරයට (V.L.C. Media Player) හිමි වන්නේ සුවිශේසී ස්ථානයකි. මෙමගින් ෆෝමැට් විශාල සංඛ්‍යාවක ඕඩියෝ සහ වීඩියෝ ෆයිල් ප්ලේ කිරීමේ හැකියාවක් තිබේ.

එසේම තව බොහෝ නිදහස් හා විව්‍යත මෘදුකාංග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා ඇත.ඒවා සොයා ගැනීම සදහා alternativeto යන වෙබ් අඩවිය භාවිතා කල හැකිය.මෙහිදී වාණිජ මෘදුකාංගයේ නම ලබා දී සර්ච් කල විට ඒ වෙනුවට භාවිතා කල හැකි ඕපන්සෝස් මෘදුකාංග රාශියක් ඔබට ඉදිරි පත් කරයි.එතුලින් ඔබ කැමති ඕනෑම මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කර ගැනීම තුලින් එය රිසි සේ භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

තවදුරටත් වාණිජ මෘදුකාංගවල ව්‍යාජ පිටපත් භාවිතය හා ජෙනුයින් වාණිජ මෘදුකාංග සදහා විශාල මුදල් වියදම් කිරීමෙන් වැලකී මෘදුකාංග වල නියම නිදහස අත් විදින්න....නිදහස කියන්නෙ ඉතින් කොහොමත් හොද එකක්නෙ :D

May 11, 2010

මගෙ පිස්සුව



ඔන්න එක දවසක්
ක්ලාස් යනකොට මං
හම්බුනා මට කෙල්ලෙක්
පිස්සු හැදෙනව බන්

ඇරබිය මා මල් කැඩිල්ල
ආව ඇගේ පියා ලගට
නැවැත්තුවා මල් කැඩිල්ල
මාරු උනා මං

ඒත් අනේ හැම තිස්සෙම
මතක් වෙනව මට එයාව
හිතා ගන්න බැරි තරමට
පිස්සු හැදිල දැන්

හැමතැනකම හොයනව ඇය
තාම නෑනෙ හම්බුනෙ මට
කවදා හරි හම්බවෙයිනෙ
කියල ඉදිමි මං



මේක මේ මට නිකන් හිතිච්ච එකක් :P.....මේක කවියක් ද නිසදැසැක් ද වෙන මොකක් හරි ද කියල කියන්නත් දන් නෑ. හිතිච්ච විදියට ලියල දැම්ම ඕන් :D

May 1, 2010

අපි නොදන්න FOSS


අපි නොදන්න FOSS කිව්වට නිදහස් හා විවෘර්ත මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව ගොඩක් දෙනා දන්නවා.නමුත් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුල පරිගණක භාවිතය වැඩි වීමත් සමග වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් හාවිතය අපි කාටත් අත් දකින්නට ලැබෙන සුලභ කරුණකි.
මුල් කාලයේදී අප රටේ පරිගණක අපරාධ සම්භන්දයෙන් බලාත්මක නීතියක් නොතිබුණු අතර 2007 දී පරිගණක අපරාධ පිළිබද පණත බලාත්මක කිරීමත් සමග පරිගණක ආශිත ක්‍රියාකාරකම් සාධනීය ලක්ෂණ ඉස්මතු විය.ඒ අනුව වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් අලවිය තහනම් කරන ලදි.ඒ හේතුවෙන් රු.80 ට ව්‍යාජ සොෆ්ට්වෙයා CD ගැනීමට පුරුදු වී සිටි අපට එයින් මිදීමට සිදු විය. පරිගණක තුල ව්‍යාජ මෘදුකාංග භාවිතය නැවැත්වීමට තරම් වර්තමාන නීතිය ප්‍රමාණවත් නොවූවද එසේ හොර මෘදුකාංග භාවිතය තුලින් අපට සිදු වන තරමක් සිදු වන්නේ හානිදායක දේවල්ය.එවැනි හානි දායක දේවල් වලින් වැලකීමට අපිට සාර්ථකව නිදහස් හා විවෘත මෘදුකාංග භාවිත කල හැකිය.
ගොඩ දෙනෙකු සිතන්නේ නොමිලේ දෙන සෑම මෘදුකාංගයක්ම නිදහස් හා විවෘර්ත මෘදුකාංග කියාය.ඒ ආකාරයට බැලූ කල නොමිලේ ලැබෙන Adobe Acrobat Reader ද FOSS වේ.නමුත් ඒ අදහස වැරදිය. FOSS වලදී මෘදුකාංගය පමණක් නොව එය නිපදවීමට හාවිත කල කේත සටහන (Source Code) ද නිදහස් කරයි. එමගින් ඕනෑම කෙනෙකුට FOSS මෘදුකාංගය තමන්ට ගැලපෙන අයුරින් වෙනස්කර භාවිත කිරීමට හා තවදුරත් දියුණු කිරීමේ හැකියාව ලැබේ.නමුත් අධික මුදලක් වියදම් කර මිලදී ගන්නා මිලදී ගන්නා කිසිම වාණිජ මෘදුකාංගයක මෙවැනි නිදහසක් ලැබෙන්නේ නැත.

රු.20000 කට අධික මුදලක් ගෙවා (ගොඩක් අය නම් රු.80 ට හරි යාලුවෙක්ගෙන්) ලබාගන්නා වින්ඩෝස් (Windows) මෙහෙයුම් පද්ධතිය වෙනුවට ඒ සමානවම අවශ්‍යතා සපුරන අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් අපිට නොමිලේම ලබා ගන්නට පුලුවන්.
මෙම මෙහෙයුම් පද්ධති ලිනක්ස් කනලය මූලික කර ගත් ඒවා වන අතර පරිගණකයේ කිසිදු වෙනසක් නොකර අත්හදා බැලීමට හැකි වන අයුරින් (Live CD) මේ සෑම මෙහෙයුම් පද්ධතියක්ම සකස් කර තිබේ.
මුල් වරට භාවිත කරන්නෙකුට Ubuntu ,Fedora වැනි ජනප්‍රිය භාවිතයට් පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් භාවිතයට ගත හැකි වන අතර ලාංකිකයන් සදහාම නිපදවූ හන්තාන ලිනක්ස් නම් Fedora මත පදනම් වූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් මෙන්ම Ubuntu මත පදනම් වූ ලංකනෙට් ලිනක්ස් නම් මෙහෙයුම් පද්ධතියක් ද ඇත.
නොමිලේම ලබා ගත හැකි මෙම මෙහෙයුම් පද්දති වල වයිරස් ආසාදන නොමැතිවීම සාධනීය කරුණකි. මෙවැනි ලිනක්ස් මෙහෙයුම් පද්ධති තුල එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට අවශ්‍ය වන සියලුම මෘදුකාංග අන්තර්ගත වන අතර අන්තර්ජාල සබදතාවක් තිබීම තුලින් වැඩිමනත් අවශ්‍යතා සපුරා ගත හැක.

මෙහෙයුම් පද්ධතිය ලෙස වින්ඩෝස් (Windos) පාවිච්චි කලත් ඉතිරි අවශ්‍යතා සදහා විවෘර්ත හා නිදහස් මෘදුකාංග වලින් ලැබෙන්නේ මහගු පිටිවහලකි.ඒ පිළිබද තොරතුරු ඉදිරි ලිපියෙන්