January 21, 2011

Sumatra PDF reader - Sinhala interface

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා PDF Reader එකක් විදියට පාවිච්චි කරන Adobe Reader වැනි මෘදුකාංග භාවිතයේදී පරිගණකයෙ සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍යය කරන නමුත් මෙයට විකල්පයක් විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදි පහසුවෙන් භාවිත කරන්න පුලුවන් සරල, නිදහස් හා විවෘත මෘදුකාංග PDF කියවනයක් විදියට Sumatra PDF මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. සරල අතුරුමුහුණතක් පැවතීම මෙන්ම භාවිතයේ ඇති සරල බවට අමතරව පරිගණකයේ ස්ථාපනයකින් තොරව වැඩකිරීමේ හැකියාව ඇති (Portable) සංස්කරණයකින්ද සමන්විත බැවින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතදී ඉතා පහසුවෙන් PDF ගොනු කියවීමට Sumatra PDF මෘදුකාංගයේ සහය ලබා ගන්න පුලුවන්.

ඉතින් අද කියන්න යන්නෙ මේ Sumatra PDF මෘදුකාංගය සිංහල භාශාවෙන්ම භාවිත කරන්න පුලුවන් එක ගැන. මේකට ගොඩක්ම ස්තූතිවෙන්න ඕන දමිත්ට. මොකද මට මේක ගැන මුලින්ම විස්තර කිව්වෙ දමිත්. කොහොමහරි අතුරුමුහුණත සිංහලට පරිවර්ථනය කරල මෘදුකාංගයෙ නිර්මාතෘ Krzysztof Kowalczykට යැව්වට පස්සෙ එදාම වගේ PDF reader එකේ pre release version එකට සිංහල අතුරුමුහුණතත් එකතුකරල තිබ්බ. ඉතින් ඒ ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඒත් දැනට සිංහල තියෙන්නෙ pre release version එකේ විතරයි. කට්ටියට ටෙස්ටින් පාරක් දාල බලන්න ඕන්නන් මෙතනින් ඒක ගන්න පුලුවන්. කොහොම උනත් Sumatra PDF 1.3.0 release එකේ ඉදල දිගටම සිංහල අතුරුමුහුණත පාවිච්චි කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Settings වලින් Change Lanuage ගිහිල්ල සිංහල තෝරන එක විතරයි.

ඒ වගේම මම තනියම කරපු පලවෙනි localization ව්‍යාපෘතිය නිසා ගොඩක් අඩුපාඩු තියෙන්නෙ පුලුවන්. ඒ නිසා භාවිත කරද්දි සිංහල වචන වල මොකක් හරි වැරැද්දක් දැක්කොත් ඒ ගැන මට දන්වන්න කියල හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනව. ඊට අමතරව ඕනම කෙනෙක්ට මේ සදහා දායක වෙන්නත් පුලුවන්, ඒ මෘදුකාංගයට අමතරව Sumatra PDF වෙබ් අඩවියත් සිංහලට පරිවර්ථනය කරන්න පුලුවන් නිසා, ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට මෙතනින් සියලුම විස්තර ලබා ගන්න පුලුවන්.

එහෙනන් දැන් ඉතින් වින්ඩෝස් පාවිච්චි කරන ඕනම කෙනෙක්ට Sumatra PDF වෙබ් අඩවියෙන් නොමිලේම මෘදුකාංගය බාගතකරගන්න වගේම අතුරු මුහුණතත් සිංහලෙන්ම පාවිච්චි කරන්න පුලුවන් :-)