October 19, 2011

අහන් ඉන්න... අහගෙන ඉන්න...


මීට අවුරුද්දකට විතර කලින් යූටියුබ් එකේ අහම්බෙන් වගේ හම්බුනු සින්දුවක්. ඕක ඇහුවම මාර විදියට ෆීල් වෙච්ච හින්ද ඒ දවස් වල ඕක ගැන ලියල පෝස්ට් එකකුත් දැම්ම. ඒත් කාලෙත් එක්ක ඔය සින්දුව ගැන තිබ්බ "ඇම්ම" අඩුවෙලා ගියාට ඉන්ද්‍රචාපගෙ රොක් වර්ශන් එක ගොඩක් වෙලාවට මගෙ අතින් ප්ලේ වෙන සින්දුවක්. ඒවගේම "මේකලා ගමගේ" ගැන ගොඩක් විස්තර දැනගත්තන් මන් ඇත්තටම ඒ "රත්තරන්" කඩහඩ තියෙන කෙනාව දකින්න හම්බුනේ "අහන් ඉන්න අහගෙන ඉන්න" සින්දුවෙ වීඩියෝ එකෙන්.

හ්ම්ම්... කෙනෙක් ඉපදෙනකොට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනන් මගේ ආගමේ හැටියට ඒ එයා පෙර ආත්මෙක කරපු පවක් කියලයි කියන්නෙ... ඒත් වෙලාවකට ඒ පව් කරපු මිනිස්සු එක්ක බලද්දි එයාල අපිට වැඩියෙ සිය දහස් ගුණයක් ඉස්සරහින් කියල හිතෙන වාරගණන අනන්තයි. මේකලත් අන්න ඒ විදියෙ කෙනෙක් මටනන්.

කොහොම උනත් අවුරුද්දකට විතර පස්සෙ ලියන මේ පෝස්ට් එකෙන් ආයෙත් ලියන්න යන්නෙ මේ සින්දුව ගැනනන් නෙමේ.

"විශේෂ අවශ්‍යතා තියෙන අය" එහෙම නැත්තන් අපි වගේම හිතන අපිට වගේම අවශ්‍යතා
 හා වුවමනා තිබුනත් ඒව තෘප්තිමත් කරගන්න තව කෙනෙක්ගෙ උදව්වක් ඕන කරන අය (මේ පැහැදිලි කිරීම ගොඩක් දුරට වැරදි වෙන්න පුලුවන්, මොකද මේ වගේ අය සාමාන්‍ය කෙනෙක්ට වැඩියෙ හොදට තමන්ගෙ දේවල් තමන්ම කරගන්න නිසා" ඒත් මේ වගේ කෙනෙක්ගෙ තියෙන පොඩි පොඩි අඩුපාඩුවක් වෙනුවෙන් මේ "මිනිස්සු" ගැන කතා කරද්දි අපි(මා ද ඇතුලුව) බලන්නෙ අමුතුම විදියකට කිව්වොත් හරි.

තමන්ගෙ පවුලෙ කෙනෙක්ට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනන් ගොඩක් අය බයයි ඒ ගැන වෙන කෙනෙක් දැනගන්නවටවත්, ඒ මේ කෙනා නිසා තමන්ගෙ පවුල් පසුබිමට විශාල බලපෑමක් සමාජයෙන් එල්ල වෙමින් තියෙන හින්ද. කොටින්ම කසාදයක් ගැන කතාකලොත් "වැඩිහිටියො" ඉස්සෙල්ලම හොයල බලන දෙයක් තමයි තමන්ගෙ දුවා හරි පුතා හරි සම්භන්ධ වෙන්න ඉන්න පවුලෙ ඈතින්වත් මේ වගේ කෙනෙක් ගෑ විලා හරි ඉන්නවද කියන එක. වැරදිලා හරි එහෙම හිටියොත් අර බදින්න කෙනා කොච්චර හොද උනත් මේක ගැන පොඩි පොඩි (සමහරවිට ලොකු) කසුකුසු ඇතිවෙන එක සාමාන්‍ය දෙයක් වෙලා.

ගොඩක් අය කැමති නෑ මේ වගේ කෙනෙක් තමන් ඉන්න තැනකට එනවටවත් (වැඩියෙ ඕන් නෑ ලගි න් යනවටවත්) ගොඩක් බස් කොන්දස්තරල මේ වගේ කෙනෙක්ව බස් එකකට නග්ගගන්න තරන්වත් කාරුණික වෙන්නෑ, තව කට්ටියක් කියන්නෙ "අනේ මේ මිනිහ දුක් වින්ද ඇතිනෙ මැරිල ගියානන් එයාටත් හොදයි අපිටත් කරදරයක් නෑනෙ" කියල.

ඇත්තටම කෙනෙක්ට උපතින් හරි, වෙන මොකක් හරි හේතුවක් හින්ද හරි අර්ධ හෝ පූර්ණ ආබාධිත තත්වයට පත්වෙනව කියන්නෙ එතනින් ඒ කෙනාගෙ ජීවිතේ ඉවරද? එහෙම කෙනෙක්ට ජීවිතේ විදින්න බැරිද? ඇස් පේන්නෙ නැති, කන් ඇහෙන්නෙ නැති, කතා කරන්න බැරි, අතක් පයක් නැති ඒ අපේම මිනිස්සුන්ට තමන්ගෙම කියල විදවන්නැතුව විදින්න පුලුවන් ජීවිතයක් නැද්ද? ඒ කෙනා ජීවත් වෙලා වැඩක් නැද්ද? ඒ අපේ මිනිස්සු රටකට බරක්ද?

නෑ...ඒක කීයටවත් වෙන්න බෑ.. ඒ අපි වගේම බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන මිනිස්සු. එයාලටත් ආදරේ කරන්න පුලුවන්... එයාලටත් අපි වගේ ම ජීවත් වෙන්න පුලුවන්... ඒ ජීවිතේට "අපිට" හයියක් වෙන්නත් පුලුවන්.



ඇත්තටම අපි මේ "මිනිස්සු" වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕන නේද? අපි මේ "අපේ මිනිස්සු" වෙනුවෙන් මීට වඩා දෙයක් කරමු නේද?